loader image

ශ්‍රි ලංකා පාසල් ටයිකොන්ඩෝ කණිෂ්ඨ බාලිකා ශුරතාවය මහනුවර පුෂ්පදාන බාලිකාවට

ශ්‍රි ලංකාවේ මේ වනවිට ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිඩාවක් ලෙස ටයිකොන්ඩෝ ක්‍රිඩාව හඳුන්වන්න පුළුවන්. කොරියාවේ ජාතික ක්‍රිඩාව ලෙස සැලකෙන ටයිකොන්ඩෝ පහරදීමේ එකම සටන් කලාව ලෙස ඔලිම්පික් ක්‍රිඩා උළෙලට එක්වීම විශේෂත්වයක්. වසර 2000කට වඩා ඈතට දිවයන ඉතිහාසයක් සහිත ලෝකයේ පැරණිතම සටන් කලාවක් ලෙස ටයිකොන්ඩෝ පිළිගැනේ.

ශ්‍රි ලංකා පාසල් ටයිකොන්ඩෝ තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ සමස්ත බාලිකා ශුරතාවය දිනා ගැනීමට පසුගියදා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ටයිකොන්ඩෝ කණ්ඩායම සමත් විය. ශ්‍රි ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය මඟින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය මෙවර පවත්වා තිබුණේ 14 වැනි වරටයි.  එය රත්නපුර දෑල රාජකීය විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණ.

Pushpadana Girls’ College, Kandy – Taekwondo Team

         මෙහිදි  මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ සවිද්‍යා රිටිගහපොල , වොනාදි නුගේගොඩ සහ  යෙහාරා ජයසුන්දර ක්‍රිඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් පදක්කම් දිනා ගැනීමට සමත් විය.  පවනි ආශිංසා ක්‍රිඩිකාවගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ප්‍රසන්න රත්නායක මහතායි. මෙහිදී පුෂ්පදාන බාලිකා විදුහලේ ටයිකොන්ඩෝ කණ්ඩායමේ නායිකා පවනි ආශිංසා, මාධ්‍ය වෙත මෙලෙස අසහස් පළ කළාය.

         “ අප පාසලේ ටයිකොන්ඩෝ ක්‍රිඩාව ආරම්භ වී දැනට වසර අටක් පමණ වෙනවා. නමුත් අපි මෙවැනි සමස්ත ලංකා ශුරතාවයක් දිනා ගැනීමට සමත් වු පළමු අවස්ථාව මෙය බව සතුටින් කියන්න කැමතියි. අපි ගොඩක් මහන්සිවෙලා පුහුණුවීම්වල නිරත වුණා. ඒ වගේම අපිට මෙම තරඟය ජය ගන්නට අභියෝග රැසකට මුහුණ පාන්නට වුණා. මෙම තරඟාවලිය සඳහා දිවයිනේ පාසල් 300කින් පමණ ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 1500කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වුණත් ඒ සියල්ල අභිබවා ඉදිරියට ගොස් තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ සමස්ත බාලිකා ශුරතාවය දිනා ගන්නට අපිට හැකි වුණා.  

         මම විශේෂයෙන්ම කිව යුතුයි, මේ ජයග්‍රහණය පිටුපස අපිට උදව් කරපු බොහෝ දෙනෙක් සිටිනවා. අප පාසලේ විදුහල්පතිනිය වන දුලානි සමරකෝන් මහත්මිය,  නියෝජ්‍ය විදුහල්පතිනිය, සහකාර විදුහල්පතිනියන්, ටයිකොන්ඩෝ ක්‍රිඩාව භාර චාමරී සෙනෙවිරත්න ගුරුතුමිය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.  ඒ වගේම අප පාසලේ ටයිකොන්ඩෝ පුහුණුකරු ප්‍රසන්න රත්නායක මහතා කළ කැපවීම ඉතා අගය කළ යුතුයි. ඔහුගේ නොමඳ උත්සාහය හා කැපවීම නිසා තමයි අපිට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණේ.  ඒ වගේම අප කණ්ඩායමේ ක්‍රිඩිකාවන්ගේ ආදරණීය දෙමාපියන් මෙම ජයග්‍රහණය ලබා ගැනීම දක්වාම සෑමවිටම යෝධ සෙවණැල්ලක් මෙන් අප පසුපස සිටියා.  මෙහිදී මගේ සහෝදර ක්‍රිඩිකාවන් මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් කැපවීමෙන් කටයුතු කළ අතර ඉදිරියේදී  අප පාසලට තවත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට අපි කණ්ඩායමක් වශයෙන්  එක්ව කටයුතු කරනවා

පුෂ්පදාන ටයිකොන්ඩෝ කණ්ඩායමේ නායිකා පවනි ආශිංසා

මෙම තරඟාවලියේ සම අනුශුරතාවයන් කොළඹ විශාඛා විද්‍යාලය සහ කුරුවිට ජාතික පාසල විසින් දිනා ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *