loader image

Kandymedia.lk  වෙබ් අඩවිය ජනගත කෙරේ…

ජනමාධ්‍ය විශේෂඥ දිශාන්ති කොඩිතුවක්කුගේ kandymedia.lk වෙබ් අඩවිය ජනගත කිරීම පසුගියදා සිදු කෙරිණ . කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඉන්ෆොටෙක් ඉන්ටර්නැෂනල් ආයතනයේදී එය සිදු කෙරිණ.

“ අභිමානවත් දේශයක් – සුභාවිත මාධ්‍ය කලාවක් “ යන්න තේමා කර ගනිමින් සිංහල සහ ඉංග්‍රිසි භාෂා දිවිත්වයෙන් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබයි.

Kandymedia.lk වෙබ් අඩවිය විවෘත කරමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ නව මාධ්‍යයක් බිහිවීමෙන් අළුත් ඇසකින් සමාජය දෙස බැලිමට හැකිවන බවයි. එමඟින් සමාජයට අළුතින් සිතන්නට ඉඩප්‍රස්ථා ලැබෙන අතර සමාජය නව මඟකට යොමු කරමින් එහි දිශානතිය වෙනස් කරන්නටද හැකියාව ලැබෙන බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන මාධ්‍යවේදියා ප්‍රාමාණික විශේෂඥයෙක් විය යුතු අතර ඔහු බුද්ධිමතෙතකු පුරෝකථන කළ හැකි අයෙකු විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය. වැඩි දුරටත් අදහස් දක්වමින් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ සුභාවිත මාධ්‍ය කලාවක අවශ්‍යතාව වර්තමානයේ සමාජයට දැඩිව දැනෙන බවයි.

මෙහිදී ජනමාධ්‍ය විශේෂඥ දිශාන්ති කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මාධ්‍ය ජනතාවගේ ජීවිතයට ශක්තියක් විය යුතු බවයි. එමෙන්ම මෙම kandymedia.lk වෙබ් අඩවිය මඟින් නව මාධ්‍ය ප්‍රවේශයක් ජනතාවට හඳුන්වා දීම, මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට ඉඩප්‍රස්ථා ලබාදීම , ජනමාධ්‍ය තුළ අඩු අවධානයට ලක්වන කාලීන වැදගත් ප්‍රවෘත්ති සඳහා විකල්ප වේදිකාවක් නිර්මාණය කිරීම, මධ්‍යම පළාතේ සහ රටේ වැදගත් තොරතුරු ජනතාගත කිරීම ආදී අරමුණු සඳහා ප්‍රම්‍රඛතාවය ලබාදෙන බවද ඇය වැඩි දුරටත් සඳහන් කළාය. 

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ සමන් ජයරත්න , ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය කර්තෘ අසේල කුරුළුවංශ . මහනුවර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී තනුජ අබේසේකර මහතා ඇතුළු විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක් සහභාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *